Kennel එකක් සාදාගැනීම පිලිබඳ හැමදෙනාම දකින සිහිනය…. (පළමු කොටස)


Kennel - Part 01

වෛද්‍ය සංජය වාසල (පශු වෛද්‍ය සහ රෝයල් කැනින් ශ්‍රී ලංකා ප්‍රධානී) විසිනි.


සුරතල් සතුන් ඇති කරන අය වගේම ඔවුන්ව Breed කරන අය ඉතාම උනන්දුවක් දක්වන දෙයක් තමා කෙනල් එකක් (Kennel) සාදාගැනීම.

එදිනෙදා ව්‍යවහාරයේ බලු කුඩුවක් වුණාට, එහෙම නැත්නම් බලු කූඩු වුණාට ලෝකයේ කෙනල් එකක් සාදාගැනීම පිළිබඳ ඉතා දියුණු තාක්ෂණයක් ඇත.

ඔබේ සුරතලා හෝ බොහෝවිට නිවසක සුරතලුන් කිහිපදෙනෙකු සිටින විට මෙන්ම පැටවුන් ලබාගැනීමේ අරමුණින් සුරතලුන් ඇතිකරන Breedersලා වෙනුවන් මේ ලිපි පෙළ ලියා තබන්නේ රෝයල් කැනින් (ප්‍රංශය) ආයතනය මගින් ලොවපුරා Breedersලා වෙනුවෙන් ලබාදෙන දැනුමේ කොටසක් ලෙස ය.

නිවැරදි Kennel එකක් සාදාගැනීම තුළින් සුරතලාට ඉතාම හොඳ ජීවන රටාවක් මෙන්ම රෝගාබාධ වැළඳීම ද අවම වේ.

එමෙන්ම නිරෝගී ගර්භණීතාවයක් තුළින් සෞඛ්‍ය සම්පන්න පැටවුන් බිහිකරන අතර බොහෝ අයට ගැටලුවක් වූ පැටවුන් මියයාම ද අවම කර ගැනීමට ඉවහල් වේ.

ඔබේ සුරතලාගේ නිවහන, Dog Breedingවල මූලිකම කරුණක්. Kennel සෑදීමට බලාපොරොත්තු වන අය තුන් ආකාරයක් දකින්න පුළුවන්.

01. සුරතලුන් සඳහා වෙනම ස්ථානයක් වෙන් කරන්නේ්නේ නැති, තමාගේ නිවසේම සුරතලුන් ඇති කරන අය.

02. තම නිවසේ, ගෙවත්තේ කොටසක Kennel එකක් සැදීමට බලාපොරොත්තු වෙන අය.

03. ස්ථිර ලෙසම Kennel එකක්, වෙනම වෙන් වූ ඉඩක හෝ ඒකකයක් සැදීමට බලාපොරොත්තු වෙන අය.

අපි සාමාන්‍යයෙන් දන්නා ගවයන්ට, අශ්වයන්ට හෝ ඌරන්ට සාදන කූඩු හෝ නිවස්නවලට වඩා, ඉතා විශාල පරාසයක සුරතල් සුනඛයන්ට සාදන කූඩුවල විවිධත්වය විහිදෙනවා.

ගවයන්ට, අශ්වයන්ට හෝ ඌරන්ට, ඒ ඒ සතුන්ට සුවිශේෂවූ එකම ප්‍රමාණයක කූඩු වන අතර, ඔබේ සුරතල් සුනඛයන්ට එය ඉතාම කුඩා ප්‍රමාණයේ Chihuahua (චුවාවා) සිට ඉතාම විශාල ප්‍රමාණයේ St. Bernard හෝ Bullmastiff වැනි breed එකක් දක්වා විශාල වෙනස්කම් ඇත.

එසේනම් පොදුවේ එකම Kennel මොඩලයක් කතා කිරීම සුදුසු නැත.

ලංකාවේ බොහෝදෙනා Kennel සැදීමට අන්තර්ජාලයෙන් ”Model” රැගෙන අමාරුවේ වැටෙන අවස්ථා ඕනෑ තරම් ඇත.

එයට ප්‍රධාන හේතුව බොහෝ ”Models” යුරෝපීය රටවල වන අතර එම රටවල ඍතු භේදයක් (Winter, Summer වැනි) ඇත. එසේම සුළං, වර්ෂාව, සීතල, දිවා සහ රාත්‍රී කාලවල වෙනවා, මිනිසුන්ගේ ජීවන රටාව සහ සොයාගත හැකි අමුද්‍රව්‍ය වැනි ඉතා විශාල කරුණු ප්‍රමාණයක් මත යුරෝපීය මොඩල අප වැනි උෂ්ණාධික, වාතයේ තෙතමනය හෙවත් ආර්ද්‍රතාව ඉතා වැඩි, වසරේ වැඩි කාලයක් ඉහළ වර්ෂාවක් ලැබෙන අප වැනි රටකට කෙසේවත් නොගැළපේ.

මේ ලිපි මාලාවේ අරමුණ ඔබට, අපේ රටට ගැළපෙන Kennel

එකක් නිර්මාණය කිරීමට පාරිසරික සාධක, අපේ රටේ තිබෙන Dog Breeds, අපිට තියෙන අමුද්‍රව්‍ය මෙන්ම අපේ අත්දැකීම් ද මුසුකොට නිවැරදි දැනුමක් ලබාදී, හොඳ මට්ටමේ Kennel ප්‍රමාණයක් බිහි කිරීමයි.

බොහෝ අය තමන්ට තිබෙන Kennel එක හොඳ සහ ප්‍රශස්ථ මට්ටමේ එකක්ද කියන එකවත් දන්නේ නැත. තමාගේ සුරතලුන් මුහුණ පාන බොහෝ ගැටලු කෙනල් එකේ ගැටලු නිසා බව ඔවුන්ට තේරුම් යන්නේ ද නැත.

ලංකාව තුළ මා දුටු Breedersලා වර්ග තුනක් ඉන්නවා.

01. Family Kennels – බොහෝ විට පවුලේ ප්‍රධාන ආදායම් මාර්ගය කෙන්ල් එක නොවන අතර, එතරම් වැඩි වෙලාවක් කෙනල් එක සඳහා යොදන්නේ නැත.

02. Professional Kennels – ඉතාම හොඳ වෘත්තීය මට්ටමේ සහ පවුලේ ප්‍රධාන ආදායම කෙනල් එකෙන් ලබාගන්න, දවසේ වැඩි වෙලාවක් තමුන්ගේ කෙනල් එක වෙනුවෙන් කැප කරන අය.

03. Semi-Professional – මෙවැනි අයගේ පවුලේ ආදායමේ වැඩි කොටසක් ‌කෙනල් එකෙන් වන අතර ආදායම් මාර්ග ලෙස තවත් දේවල් එකක් හෝ කීපයක නිරත වන අය.

මේ හැම ක්‍රමයක්ම වාසි වගේම අවාසිත් තියෙනවා. ඒවා ගැන වැඩි දුර විස්තර කියල දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද ලංකාව තුළ වෘත්තීය මට්ටමේ Breedersලා රැසක් බිහිවීමේ අවශ්‍යතාව තිබෙනවා. එවැනි අය සොයා යන ගමනක් තමා මේ.

කෙනල් එකක් සැලසුම් කිරීමේ දී, යුරෝපය වගේම බොහෝ දියුණු ආසියාතික රටවල් පවා නීති රීති පද්ධතියක් තියෙනවා. නමුත් ලංකාව තුළ එවැනි නීති රීති පද්ධතියක් නැති අතර, ඒ ගැන පුද්ගලිකව ම මම ද කනගාටු වෙමි.

Breedersලාට බණිනවාට වඩා ඔවුන් දැනුවත් කිරීම වටිනවා. බොහෝ අය අවුරුදු ගණනාවක් කෙනල් කළාට මූලික කෙනෙල් Management ගැනවත් දන්නේ නැහැ.

ඔබේ සුරතලුන්ට හොඳ ජීවිතයක් ලබාදීමට ඔවුන් මුළු දවසම ගත කරන නිවහන වැදගත්.

අද දවසේ අපි කෙනල් එකේ වැදගත්කම ගැන අපි ඔබට කිව්වේ. ඊළඟ ලිපය ඉතාම දිග එකක් වන අතර, කෙනල් එකක් සැලසුම් කිරීමට අත්‍යාවශ්‍ය කරුණු අටක් (08) අපි කතා කරනවා.

ඔබේ අදහස් Facebook Page එක වෙත යොමු කරන්න.

– වෛද්‍ය සංජය වාසල (පශු වෛද්‍ය සහ රෝයල් කැනින් ශ්‍රී ලංකා ප්‍රධානී)

සැ.යු : මෙම කරුණු මේලෙසින් ම හෝ කොටස් වශයෙන් ගෙන පළ කිරීම තහනම්. ලිපිය ඕනෑම තැනක Share කිරීමට පුළුවන.